ලොව මන බැන්ඳු - සිරි ලක් ලන්දූ
ඉන්දියන් සයුරේ මුතු ඇටය, පෙරදිග ධාන්‍යාගාරය යන විරුද නාමයන්ගෙන්
හැඳින්වෙන්නා වූ, අපගේ මාතෘ භුමිය වූ ශ්‍රී ලංකාව, ලෝකයෙන් උතුම් රට ලෙසින් හඳුන්වා
තිබීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් ආඩම්බර විය යුතු කරුණකි. ඉන්දියානු මහා
අර්ධද්වීපයට ගිණිකොනින් ඉන්දියන් සාගරයේ පිහිටියා වූ වර්ග කි.මී 65,610 ක් වූ ඇති සුන්දර දිවයිනක් වූ ලංකාව
බොහෝ ඈත අතීතයකට උරුමකම් කියයි. ලෝකයේ වෙනත් රටවල් හා සසඳන කල්හි ඉතා කුඩා රටක්
වුවද අතීතයේ පටන් අද වන තුරුම ලංකාව නමැති ඒ කුඩා දිවයිනේ නාමය ලොව තුල ලබා තිබෙන
ප්‍රසිද්ධිය සුළු කොට තැකිය නොහැකිය.
ඉන්දියාවේ බටහිර හා නැගෙනහිර වෙරළ අතර
පුරාණ නැව් මාර්ගයේ පිහිට තිබීම, අරාබියත්
චීනයත් අතර පිහිටීම, ග්‍රීක හා
රෝම වෙළඳ මාර්ගයේ පිහිටීම, ඔස්ට්‍රේලියාවට
හා ඈත පෙරදිගට යන නැව් මාර්ගයේ පිහිටා තිබීම යන භූගෝලීය පිහිටීමේ සුවිශේෂත්වය නිසා
ලොව බොහෝ ජාතීන් අතර ලක්දිව ප්‍රසිද්ධව තිබුණි. දේශගුණික තත්වය අතින්ද අප රටට හිමි
වනුයේ සුවිශේෂ ස්ථානයකි. ලෝකයේ බොහෝ රටවල ජනයා අධික සීතල, උණුසුම, ගිනිකඳු, භූමිකම්පා යනාදියෙන් නිරන්තර පීඩා
වින්දත් එවන් අයහපත් භූගෝලීය පිහිටීමක අප රට පිහිටීමට තරම් අපි අවාසනාවන්ත වී
නොමැත්තෙමු. ලෝකයේ කුමන රටක පුරවැසියෙකු අප රටට පැමිණියද නියත වශයෙන්ම ඔහුට සරිලන දේශගුණික කලාපයක් අප රටෙන්
සොයා ගත හැකිය.
මහා වංශයේ සඳහන් පරිදි ඉන්දියාවේ
"ලාට" රට සිට පැමිණි විජය කුමරු ඇතුළු පිරිස ලක්දිව ප්‍රථම වරට ආර්ය
ජනපද පිහිටුවා ගත්හ. ඔවුන් සතු වූ කෘෂිකර්මය පිලිබඳ ශිල්ප ක්‍රම හා දැනුම මෙරට
ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන බවට පත් කිරීමට ඉවහල් විය. එතැන් පටන්
කෘෂිකාර්මික ජීවන රටාවක් ගෙවූ ලක්වැසියන්ගේ ජීවන මඟ නව ජීවන රටාවකට යොමු වූයේ
දේවානම්පියතිස්ස රජු කල ජම්බුද්වීපයේ සිට මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස
ලක්දිවට "බුදු දහම" සහ ශ්‍රී මහා
බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාකාවත් රැගෙන වැඩමවීමත් සමඟය. මින් පසු ජනතාව බෞද්ධ
සංස්කෘතිය මත පදනම් වූ ජීවිතයක් ගත කිරීමට පෙළඹුනහ. ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති, කැටයම්, චිත්‍ර ආදී කලාවන් උපයෝගී කර ගනිමින්
ආශ්චර්යමත් නිර්මාණ කිරීමට අපේ මුතුන් මිත්තන්ට හැකියාව ලැබිණි. පුරාණ රජ
දරුවන් කල මහා වැව්, දාගැබ්, ආගම සම්බන්ද විශාල ගොඩනැගිලි සිංහලයන්ගේ
ශිෂ්ටාචාරයේ ප්‍රෞඩත්වය පෙන්වන බව අනුරාධපුරය, පොලොන්නරුව වැනි නගර වලට ගිය විට අදටත්
මනාව පසක් කර ගත හැක. ලෝකයේ අටවන පුදුමය ලෙස නම් කර ඇති සීගිරිය හා අභයගිරිය, රුවන්වැලිසෑය, ලෝවාමහාපාය ආදී දාගැබ් ද මින්නේරි වැව, කළා වැව, තිසා වැව හා මහා පරාක්‍රම සමුද්‍රය ආදී මහා ජල කළමනාකරණ තාක්ෂණ ද ඉහත කරුණට
සාක්ෂි දරයි.
එමෙන්ම ස්වභාව සෞන්දර්යයෙන්ද ලංකාව ප්‍රධාන
තැනක් ගනී. වෘක්ෂ ලතා, වන සතුන්, ගංගා ඇළ දොළ ආදියෙන් සමන්විත සිංහරාජය, හෝර්ටන් තැන්න ආදී ලෝක උරුමයන් බවට පත් වූ ස්ථාන
ලංකාවේ අභිමානය තවත් ඔපවත් කරයි. ලොව පවතින විශාලම හා අතලොස්සක් වූ ස්වභාවික වරායයන් අතරින් එකක් වන ත්‍රිකුණාමලය වරාය ද අප
ලක්දිව සතු වීම මහත් භාග්‍යයකි. එනමුත් මේ පොළොවෙහි උපදින්නා වූ අගනා මුතු මැණික්, ධන ධාන්‍ය, කුළු බඩු, අලි ඇතුන් ආදී මහාර්ග ස්වභාවික සම්පත්
හේතුවෙන් අතීතයේදී බොහෝ විදේශීයයන් මෙම වරාය හරහා ලක්දිව ආක්‍රමණය කිරීමටද
පෙළඹුණි.
අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ යනාදී ලෙසින් රාජධානි මාරු
වීමේදී එම යුග තුල ලංකාවේ ආගම, මූර්ති, චිත්‍ර කලා හා සාහිත්‍යය ආදී යන සාම
අංශයකම විශාල වශයෙන් වෙනස්කම් ඇති විණි. ක්‍රි.ව 1500 වන විට ලංකාව කෝට්ටේ, මහා නුවර, යාපහුව ලෙස රාජධානි තුනකට බෙදී තිබුණි. 1505 දී පෘතුග්‍රීසීන් ලක්දිවට අහම්බෙන් ගොඩ
බැසීමත් සමඟ ඔවුන්ගේ වසර 100 කට වැඩි
කලක් තිබූ පාලනය ලන්දේසීන් අතටත්, ඉන්පසු 1796 දී ඉංග්‍රීසීන් යටතටත් පත්විය. 1796 පටන් 1948 දක්වාම ඉංග්‍රීසීන් විසින් ගෙනගිය යටත්
විජිතවාදී පාලනය අවසන් වනුයේ 1948 පෙබරවාරි 04 වෙනිදා නිදහස ලබා ගැනීමත් සමඟිනි.
ලංකාව කෘෂිකාර්මික රටකි. වී, ඉරිඟු, කුරක්කන්, අල වර්ග, කුළු බඩු, එළවලු හා පලතුරු ආදී වගාවන් සමඟ හේන්
ගොවිතැන හා සත්ව පාලනයද ලංකාවේ සශ්‍රීකත්වයට පාදක වී ඇත. වර්තමානය වන විට එය තේ, රබර්, පොල් ආදී අපනයන බෝග දක්වා වඩා වර්ධනය වී
තිබෙන අතර එමඟින් ලංකාවට බොහෝ ආදායම් මාර්ගද විවෘත වී තිබේ. එමෙන්ම සුළු අපනයන බෝග
ලෙස කොකෝවා, කොපි, කුරුඳු, කජු හා කුළු බඩු ආදිය හැඳින්විය හැකිය.
කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය වුවද ඊට
අමතරව ධීවර කර්මාන්තය, ඛනිජ
සම්පත් ආශ්‍රිත කර්මාන්ත හඳුන්වා දීමට හැකිය. 1948 පසුව ඇති වූ මහා පරිමාණ හා සුළු පරිමාණ
කර්මාන්ත රාශියක් වර්තමානය වන තෙක්ම ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතී. මේ බොහෝ
කර්මාන්ත වලටත් අපනයනාපේක්ෂිත කෘෂිකර්මාන්තයටත්වඩාත් පහසුවක් වූයේ බ්‍රිතාන්‍ය
පාලන සමයේ ඇති වූ මාර්ග පද්ධතියේ දියුණුවයි. 1820 දී ඉදි කරන ලද කොළඹ - මහනුවර මාර්ගයේ
පටන් අද දක්වා ඉදිවන්නා වූ සියලු මහා මාර්ග කර්මාන්ත වලට ගෙන එන්නේ ඉමහත් පහසුවකි.
1972 දී ජනරජ ආණ්ඩු ක්‍රමය බිහි වීමත් සමඟ
රටේ නායකයා වූයේ ජනාධිපතිවරයාය. මේ අනුව ලංකාවේ ප්‍රථම ජනාධිපති වීමේ භාග්‍යය හිමි
කර ගත්තේ 'විලියම් ගොපල්ලව' මැති තුමාය. ජනපතිවරයා, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව , අධිකරණය, පළාත් සභා, හා ප්‍රාදේශීය සභා ආදිය බිහි වන්නේ මෙම
පාලන ක්‍රමය යටතේය. එතැන් පටන් අද දක්වා ලංකාවේ සියලු වගකීම් පැවරෙන්නේ පවතින
රජයටය.
කෙසේ වෙතත් ලංකාව පිලිබඳ කතා කිරීමේදී ආගමික, ආර්ථික, සමාජයීය හා සංස්කෘතිකමය වශයෙන් බොහෝ
කරුණු පැවසීමට තිබේ. එය ඉතාමත්ම අසීරු කරුණකි. වසර 2500 කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී
ලංකාව වර්තමානය වන විට බොහෝ වෙනස්කම් වලට භාජනය වී තිබේ. කාලයාගේ ඇවෑමෙන් රටක්
සංවර්ධනය විය යුතුය. එම සංවර්ධනය අප ලබා ගත යුත්තේ අතීතයෙන් උගත් පාඩම් මතිනි.
ලංකාව වැනි මනරම්‍ය වූ රටක වැසියන් වශයෙන් අපි එයින් උපරිම ප්‍රයෝජනය ලබා
ගන්නවාදැයි නම් ඇත්තේ විශාල සැකයකි. මෙවන් රටක ඉපදීමට වාසනාව තිබිය යුතු සේම අප කල
යුතු වන්නේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කර ගන්න අතරම අපත් සංවර්ධනය වී රටත් සංවර්ධනය
කිරීමය.
